සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය යයි

රන් මාලයක් කැඩූ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය යයි

by Staff writer 04-08-2018 | 10:22 AM
COLOMBO (News 1st) - රන් මාලයක් කඩා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී එලෙස මිය ගොස් ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 37 හැවිරිදි මිල්ලනිය හල්තොට සුබසාධක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහිවූවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පවසන්නේ, පසුගිය 29 වන දා අත්අඩංගුවට ගත් තම සැමියාට පොලීසිය කළ පහර දීම් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයාගේ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව ය. අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව අනාවරණය කර ගත හැකි වනු ඇති බව පොලීසිය පැවසුවේ ය.