රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ ජවාරමක්

රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි

by Staff writer 04-08-2018 | 12:43 PM
COLOMBO (News 1st) - රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. ශ්‍රී ලංකා රේගු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට සමත් වූ බව ය. නීති විරෝධී ලෙස රන් කැබලි මිශ්‍ර පස් විදෙස්ගත කිරීමේ චෝදනාව මත එම කන්ටේනර්වලට රුපියල් ලක්ෂ 50ක දඩ මුදලක් නියම කර එම අපනයනය කිරීම තහනම් කිරීමට රේගුව පියවර ගෙන තිබේ. එම සිද්ධියෙන් පසුව තවත් එවැනි ම පස් කන්ටේනර් 15ක් පසුගිය අඟහරුවාදා ඉන්දියාවට අපනයනය කිරීමට සැලසුම් කර තිබියදී රේගුව විසින් රඳවා ගත් බව ද එම නිලධාරියා පැවසුවේ ය. ඒ, භූ විද්‍යා හා පතල් කාර්යංශය සිදු කළ පස් සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ය. මේ සම්බන්ධයෙන් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීමකින් තොරව තවදුරටත් කොළඹ රේගු අපනයන භාණ්ඩ පර්යන්තයේ රඳවා තිබේ.