ජාතික රෝහලේ දෛනික හෘද සැත්කම් 2කට සීමා වෙයි

ජාතික රෝහලේ දෛනික හෘද සැත්කම් සංඛ්‍යාව 2කට සීමා වෙයි

by Staff writer 04-08-2018 | 12:07 PM
COLOMBO (News 1st) - ශල්‍යාගාරවල පවතින ගැටලු හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබේ. හෘද රෝග අංශයේ වෛද්‍යවරයෙකු පැවසුවේ, දැනට රෝහල සතුව ඇති ශල්‍යාගාර 05න් 2ක ගැටලු පවතින බව ය. C ශල්‍යාගාරයේ ගැටලු හේතුවෙන් එය පසුගිය දෙසැම්බර් මාසයේ වසා දැමූ අතර මේ දක්වා එය විවෘත කර නොමැත. මීට මාස 2කට පෙර ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව විවෘත කළ J ශල්‍යාගාරයේ ද ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව අදාළ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙවැනි තත්ත්වයක් යටතේ ජාතික රෝහලේ දෛනිකව සිදු කෙරෙන හෘද සැත්කම් සංඛ්‍යාව 2කට සීමා කිරීමට සිදුව තිබේ. ඒ හේතුවෙන් ජාතික රෝහලේ හෘද රෝග සැත්කම් සිදු කිරීමට ඉතා දිගු පොරොත්තු ලේඛනයක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. මේ වන විට හෘද සැත්කම් සිදු කෙරෙන්නේ රෝහලේ 2016 වසරේ ලියාපදිංචි වූ රෝගීන් සඳහා බව පෙන්වා දෙන වෛද්‍යවරු, මේ වසරේ ලියාපදිංචි වන රෝගීන් සඳහා සැත්කම් සිදු කළ හැක්කේ 2020 වසරේදී බව ද සඳහන් කළහ. රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් තුළ මෙරට හෘද රෝග ප්‍රතිකාර සේවාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, අලුත්වැඩියාවෙන් පසු J ශල්‍යාගාරයේ ප්‍රමිතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව ය. ගැටලු පැන නැගුණ ද අදාළ ශල්‍යාගාරයේ හෘද සැත්කම් සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය. දැනට වසා දමා ඇති C ශල්‍යාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කර ඇති අතර එය හැකි ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා පැවසුවේ ය. දැනට කොළඹ, කරාපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය, මහනුවර හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් සිදු කෙරේ.