විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා මත විමසයි

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා මත විමසයි

by Staff writer 03-08-2018 | 9:31 AM
COLOMBO (News 1st) - පක්ෂයේ ජ්‍යේෂඨ සමාජිකයින් සමග සාකච්ඡා කර විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එහි ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තම පක්ෂයෙන් කරුණු විමසා කථානායක කරු ජයසූරිය මහතා ලිපියක් යොමු කර ඇති බව ය. ඒ අනුව පක්ෂයේ ඉහළ සාමාජිකයින් සමග සාකච්ඡා කර පක්ෂ මතය කථානායකවරයාට කඩිනමින් දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා එම කරුණු විමසීම සිදු කර තිබේ. සන්ධාන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 70 දෙනෙකු අයත් වන බැවින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සන්ධාන මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ අත්සනින් යුතුව එම ඉල්ලීම් ලිපිය පසුගිය 30 වන දා කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබේ.