මන්ත්‍රී වැටුප් ගැන පක්ෂ නායකයින් සමග සාකච්ඡා

වැඩි වීමට නියමිත මන්ත්‍රී වැටුප් ගැන පක්ෂ නායකයින් සමග සාකච්ඡා

by Staff writer 03-08-2018 | 7:08 AM
COLOMBO (News 1st) - මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව පවසයි. එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පක්ෂ නායක රැස්වීම ලබන සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව ය. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිතව ඇති බව ද එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය. මැති ඇමතිවරුන්ගේ වැටුප 215%කින් වැඩි කිරීමේ යෝජනාවක් පසුගියදා ඉදිරිපත් වී තිබිණි. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා පැවසුවේ, විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බව ය. ජූලි 17 වන දා පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුව පසුගිය ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වැටුප් වැඩි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව දැනට රුපියල් 54,285ක් වන මන්ත්‍රී වැටුප රුපියල් 120,000ක් දක්වාත් රුපියල් 63,500ක් වන නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 135,000ක් දක්වාත් වැඩි කිරීමට යෝජනා කර තිබේ. දැනට රුපියල් 65,000ක් වන ඇමති සහ රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 140,000ක් දක්වා වැඩි කිරීමට යෝජිත ය. 2016 වසරේ සිට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් හා රුපියල් 50000ක දුරකතන දීමනාවක් මැති ඇමතිවරුන්ට ගෙවීමට පියවර ගැනිණි.