වව්නියාව සතොසේ සීනිවලට යූරියා කලවම් වෙයි

වව්නියාව සතොසේ සීනිවලට යූරියා කලවම් වෙයි

by Staff writer 03-08-2018 | 1:43 PM
COLOMBO (News 1st) - වව්නියාව සතොස ශාඛාවේ සේවකයින්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් පැවසුවේ, වව්නියාව සතොස ශාඛාවෙන් ලබා ගත් සීනි සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකු සිදු කළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබූ සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට අනාවරණය වූ බව ය. වව්නියාව සතොස ශාඛාවෙන් සීනි මිලදී ගත් පිරිස් ‍වහාම අදාළ සීනි පරිභෝජනය නොකරන ලෙස වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ, එම සීනි පරිභෝජනය කළ පුද්ගලයින් සිටී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ය. සතොස ශාඛාවෙන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු භාණ්ඩ ලබා‍ ගෙන අදාළ භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇති අවස්ථාවේදී එහි සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබා‍ ගන්නා ලෙසට ය. එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබූ භාජනයට අදාළ පුද්ගලයා පරීක්ෂාවකින් තොරව හළා ඇති අතර පසුව සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ. පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන් සතොස සේවකයින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වූ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු සඳහන් කළහ.