ලාංකික සිසුන් 800 ගේ නවසීලන්ත වීසා යළි සමාලෝචනයට

මූල්‍ය ජාවාරමක් හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් 800 කගේ නවසීලන්ත වීසා යළි සමාලෝචනය කෙරේ

by Staff writer 02-08-2018 | 12:30 PM

ශ්‍රී ලාංකික සිසුන් සඳහා ලබාදී ඇති ශිෂ්‍ය වීසා අයැදුම්පත් 800 කට අධික සංඛ්‍යාවක් පිළිබඳව සමාලෝචනය කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, ඔවුන් වීසා අයැදුම්කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් සිය ගිණුම්වල හැඟවීම සඳහා ව්‍යාජ ක්‍රමවේද අනුගමනය කර ඇති බව හෙළිවීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සිසුන් මූල්‍ය ආයතන මාර්ගයෙන් තමන් සතුව ප්‍රමාණවත් මුදල් ඇති බව හැඟවීම සඳහා ක්‍රියා කර ඇති බවයි. මෙම ජාවාරම පිළිබඳව පසුගිය ජනවාරි මාසයේදී නවසීලන්ත ආගමන විගමන බලධාරීන් අනාවරණය කරගෙන ඇත. ශ්‍රී ලාංකික සමාගමක් විසින් සිසුන්ට සිය මූල්‍ය හැකියාව පෙන්වීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර දී ඇති බව අනාවරණය වී ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේ ය.