පිබිදෙන පොළොන්නරුවට තවත් සංවර්ධන ව්‍යාපෘති 60ක්

by Staff writer 02-08-2018 | 7:34 PM
COLOMBO (News 1st) ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් සිටීම තමාගේ ද සතුට නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමිනි. 'පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ නව ව්‍යාපෘති 180 ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ වැඩ සටහන අනුව සංවර්ධන ව්‍යාපෘති 60 ආසන්න ප්‍රමාණයක් ජනතා අයිතියට පවරාදීම පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වය අද සිදු කෙරිණ. දිර්ළ කාලයක් පුරා පොළොන්නරුවට සිදුවූ සංවර්ධනයේ අසාධාරණය මහ හරවමින් එහි ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක කෙරෙන මෙම සංවර්ධන සංග්‍රාමය තුළ දිස්ත්‍රික්කයේ පාසල්, රෝහල්, මාර්ග , ජල යෝජනා ක්‍රම, නිවාස, ක්‍රිඩා පිටි හා ක්‍රීඩාගාර මෙන්ම ආගමික සිද්ධස්ථාන පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙයි. අද ජනගත කෙරුණු සංවර්ධන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රතිලාභ සිදුව ඇත්තේ රටේ අනාගතය භාර ගැනීමට සුදානමින් සිටින දූ දරුවන්ට වන අතර දිස්ත්‍රික්කයේ පාසල් 40 කට ආසන්න ප්‍රමාණයක සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති අද සිසු අයිතියට පත් කෙරිණ. රුපියල් මිලියන 22 ක වියදමින් වැලිකන්ද, හැවන්පිටිය, දෙමළ මහා විදයාලයේ ඉදිකර තිබෙන නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එම සිසු දරුවන් සමග සුහද කථාබහක ද නිරත විය.