ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්

by Staff writer 02-08-2018 | 5:04 PM
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 09 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවතන්ත්‍ර යන මහත්වරුන් ද අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවත්‍රන්ත්‍රි යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, අද පෙරවරුවේ ය. පසුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන්ට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප හා තවත් කොන්දේසි මත ඇප නියම කළේ ය. ඇප නියම වුව ද ඇප කොන්දේසියක් වූ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැබීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ. නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවත්‍රන්ත්‍රි  අත්අඩංගුවට ගැනුණේ, මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ වකවානුවේ ලබා ගත් දුරකතන ඇමතුම් හඬපට මකා දමා විකෘති කිරීමේ චෝදනාවට අදාළව ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුවන් දෙදෙනා රජයේ සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට අපේක්ෂා කරන බව ය.