වර්ණ යෙදූ බාල පරිප්පු මෙරට වෙළෙඳපොළේ

වර්ණ යෙදූ බාල පරිප්පු මෙරට වෙළෙඳපොළේ

by Staff writer 01-08-2018 | 9:22 AM
COLOMBO (News 1st) - රතු වර්ණය යෙදූ ප්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ වෙළෙඳපොළේ කළ වැටලීම්වලින් මේ පිළිබඳව අනාවරණය වූ බව ය. දැනට මෙම පරිප්පු විශේෂය අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්කවල වෙළෙඳ සල්වල විකිණීමට තබා තිබියදී සොයා ගෙන ඇති බව ද ඔහු පැවසුවේ ය. මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාවට දැනුම් දෙන්නේ, එම පරිප්පු විශේෂය පිසීම සඳහා සේදීමේදී පැහැය වෙනස් වන්නේ නම් වහාම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන ලෙස ය. මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, ප්‍රමිතියෙන් තොර මෙවැනි ආහාර පිළිබඳව ආහාර පනත යටතේ නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ඇති බව ය. මේ අතර මේ වසරේ මුල් මාස 06 තුළ කළ වැටලීම් 1576 කින් නඩු 4762 ක් පැවරූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ. ඉන් අය කර ගෙන ඇති දඩ මුදල රුපියල් එක්කෝටි 21 ලක්ෂ 76000කි. ආහාර නිෂ්පාදනවල ලේබල් නොගැසීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, ආපන ශාලා හා ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අපිරිසිදුව පවත්වාගෙන යාම ආදී චෝදනා රැසක් සම්බන්ධයෙන් එම නඩු පැවරූ බව මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ය.