මෙක්සිකෝවේ ගුවන් යානා අනතුර

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 101 දෙනෙකුගේ දිවි ගලවා ගනී

by Staff writer 01-08-2018 | 9:59 AM
(News 1st) - මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේ මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි සියලු දෙනා දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ. ප්‍රාන්ත ආණ්ඩුකාර හොසේ අයිස්පුරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළේ ය. අනතුරින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මගීන් 97 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු රැගත් එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM 2431 යානය අනතුරට ලක් වූයේ ගුවාඩලුපේ වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මෙක්සිකෝ සිටි අගනගරය කරා පියාසර කරමින් සිටින අතරතුර ය. අනතුරට පත් වන විට යානය ගුවන්තොටුපොළින් පිටත්ව සැතපුම් 6ක් පියාසර කර තිබිණි. අධික වර්ෂාව මධ්‍යයේ යානය ගුවන්ගත කර ඇති අතර අනතුරට හේතුව අයහපත් කාලගුණ තත්ත්වය බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති. මෙම අනතුරට පසු ගුවාඩලුපේ වික්ටෝරියා ගුවන්තොටුපොළ වසා දැමිණි.