පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය අද දිවයිනට

නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය අද දිවයිනට

by Staff writer 01-08-2018 | 6:54 AM
COLOMBO (News 1st) - සිව් දින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිත ය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, 2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බව ය. මහ ලේකම්වරිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතව තිබේ. ඊට අමතරව ඇය මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් අතර වෙළෙඳාම වැඩි දියුණු කිරීම හා ලන්ඩනයේදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේහිලා සහයෝගීතාව වර්ධනය කර ගැනීම මහ ලේකම්වරියගේ එම හමුවීම්වල අරමුණ වේ.