නිල්ගල රක්ෂිතයෙන් කොටි දෙනකගේ සිරුරක් හමුවෙයි

නිල්ගල රක්ෂිතයෙන් කොටි දෙනකගේ සිරුරක් හමුවෙයි

by Staff writer 01-08-2018 | 5:58 PM

COLOMBO (News 1st) - ගල්ඔය ජාතික වනෝද්‍යානයේ, මොණරාගල නිල්ගල රක්ෂිතය තුළ තිබී අද තව ත් කොටි දෙනකගේ සිරුරක් හමුවිය.

පොලීසිය ප්‍රකාශ කළේ, එම සත්ත්වයා ඊයේ මියගොස් සිටියදී හමු වූ කොටි දෙදෙනාගේ මව විය හැකි බවයි. මේ අතර ඊයේ හමු වූ කොටි දෙදෙනාගේ සිරුර පිළිබඳ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ ය. කොටිදෙනගේ සිරුර හමුව ඇත්තේ, නිල්ගල රක්ෂිතයේ බෝවැල්ල එගොඩපිටිය ප්‍රදේශය ආසන්නයේ තිබියදීයි. අඩි 7 ක් පමණ දිගැති එම කොටි දෙන අවුරුදු 15 ක් පමණ වයසේ පසු විය. සිරුර සොයා ගන්නා විටත් කොටිදෙනගේ හිස කඳින් වෙන් ව තිබු බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. ගල්ඔය වනජීවි කාර්යාලය දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ඇත. මේ අතර මියෙගාස් සිටියදී ඊයේ හමු වූ කොටි දෙදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව ඇත් අතුරු සෙවනේදී සිදු කෙරුණි. ඒ, ඌව පළාත භාර වනජීවි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා විසිනි. අවුරුදු එකහමාරක් පමණ වයසැති එම සතුන් දෙදෙනා යම් විෂ ද්‍රව්‍යයක් ශරීරගත කර ඝාතනය කර තිබූ බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ. ඒ අනුව මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලීසියට දැනුම් දුන් බව, වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. කොටි මියගොස් සිටි ස්ථානය සමීපයේ මියගිය ගවයෙකුගේ සිරුරු කොටස් ද තිබී සොයා ගැණුනු අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසී ය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද බිබිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර මේ සම්බන්ධයෙන් අගෝස්තු 23 වන දා අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ගල්ඔය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.