ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

by Staff writer 31-07-2018 | 10:19 AM
COLOMBO (News 1st) : 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ  දී ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක්වන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා  කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණයක් ලෙසයි. 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනයක කරමින්, ලංකා ලයන්ස්  කණ්ඩායම මෙම තරගාවලියට සහභාගීවේ. මූලික වටයේදී සී කාණ්යෙන් තරග වදින ලංකා ලයන්ස් කණ්ඩායමට තරගාවලියේ පළමු තරගයේදී ඔස්ට්‍රේලියාවෙන් පැමිණි කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ පළමු වටයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 25 ට 20 ක් ලෙසයි. ලකුණූ 25 ට 21 ක් ලෙස  දෙවන වටය ද ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි වටය ජයගත්තේ, ලකුණු 25 ට 9 ක් ලෙසයි. ඒ අනුව තරග වට 3 ට 0 ක් ලෙස ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම් තරගාවලියේ මූලික වටයේදී ඔස්ට්‍රේලියාවේ කැන්බරා හීට් කණ්ඩායමට අමතරව  තායිලන්තයේ නකොන් රශසිමා හා හොං කොං හී යාන් චායි කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට නියමිතයි. ලංකා ලයන්ස් හා හොං කොං හි යාන් චායි කණ්ඩායම අතර තරගය අද පස්වරුවේ පැවැත්වේ. තරගාවලියේ මූලික වටයේදී වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් බවට පත්වන කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සේවය කරන සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරු ඩෙජාන් ඩුලිසිවික් මහතා පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් සමග ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ මෙම තරගාවලියේදීවේ.