රාජ්‍ය ආයතනවල පරිබාහිර සේවකයන්ට වැටුප් ගෙවීම තහනම්

රාජ්‍ය ආයතනවල පරිබාහිර සේවකයින්ට වැටප් ගෙවීමේ තහනමක්

by Staff writer 31-07-2018 | 6:12 PM
COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනය, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ප්‍රධාන ලේකම් හා මූල්‍ය අංශයේ ප්‍රධානීන් විසින් වගකීම දැරිය යුතු වනු ඇති. මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගනිමින් වැටුප් ගෙවීම පිළිබඳ අදාළ ආයතනවල සභාපතිවරු, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරු වගකීම භාරගත යුතු බවයි. චක්‍රලේඛයට අනුව පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන දැනටමත් අතිරික්ත සේවක පිරිසක් සිටින්නේ නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා සේවක සංඛ්‍යා හා වැටුප් තොරතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතු වේ.