නවසීලන්තයට වීසා ලබා ගැනීමට කළ වංචාවක් හෙළිවෙයි

නවසීලන්ත වීසා ලබා ගැනීමට කළ වංචාවක් ගැන හෙළිදරව්වක්

by Staff writer 31-07-2018 | 1:58 PM
COLOMBO (News 1st) නවසීලනත්යේ අධ්‍යාපනය හැදෑරීම සඳහා යන මුවාවෙන් ව්‍යාජ ලෙස වීසා ඉල්ලුම් කළ ශ්‍රී ලාංකික පිරිසක් සම්බන්ධයෙන් එරට ආගමන බලධාරීන්ගේ අවධානය යෙමුවී ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මුම්බායිහි පිහිටි වීසා මධ්‍යස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතුවල නිරතවූ එරට බලධාරීන් විසින් මෙම වංචාව හෙළිකර ගෙන තිබේ. මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක් විසින් මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර නවසීලන්තයට සිසු සිසුවියන් යැවීමේ ජාවාරමක නිරතවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේවනවිට ද ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එරට වාසය කරන බවත්, ඔවුන් යොමු කළ ලේඛන සම්බන්ධයෙන් ද අවධානය යොමුකරනු ඇති බව ද එම වාර්තාවල සඳහන් ය. ඉහත සඳහන් කළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අවස්ථාවේදී අයැදුම් පත් 88 ක් ශ්‍රී ලංකාවෙන් ලැබී තිබූ බව සඳහන් කර ඇති එරට ආගමන සම්බන්ධ අමාත්‍යවරයා ඉන් 83 ක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ද සඳහන් කර තිබේ. මේවනවිට නවසීලන්තයේ රැඳී සිටින පිරිස අතර ද වංචා සහගත ලෙස තම රටට ඇතුළුවූවන් සිටිනු ඇති බව අනුමාන කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පවතින තත්ත්වය මත ඔවුන්ගේ ලිපිලේඛන පරිශීලනය කිරීමට ප්‍රයෝගිකව අපහසු බවත්, මේවන විට ඉන් අයැදුම් පත් 895 ක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද ඔහු පවසා තිබේ. විමර්ශනය අවසානයේ, සැකකටයුතු අයදුම්කරුවන් සම්බන්ධයෙන් වාර්තා වනු ඇති බවත්, ඔවුන්ට වීසා දිගුවක් සඳහා ඉල්ලුම් කිරීමේදී එම දිගුව ලබා නොදීමට අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පවසා තිබේ. මෙම වංචාවට සම්බන්ධ ආයතනය මේ වන විටත්, තහනම් කිරීමට හා ඔවුන් හා කිසිදු සබඳකමක් නොපැවැත්වීමටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. නවසීලන්තයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඇති බවට තහවුරු කරමින් පැමිණෙන සිසු සිසුවියන් රැසක් මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට නොහැකි තත්ත්වයක පසුවීම නවසීලන්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.