ජාලිය වික්‍රමසූරියට විවෘත වරෙන්තු

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විවෘත වරෙන්තුවක්

by Staff writer 31-07-2018 | 5:01 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නැවතත් වරෙන්තු නිකුත් කළා ය. එම සැකකරුට විදේශගත වීම සඳහා අධිකරණය හමුවේදී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ජාලිය වික්‍රමසූරිය මහතාගේ බිරිඳ සහ ඔහුගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කර තිබේ. සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා අමෙරිකානු ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා වැය කළ රුපියල් කෝටි ගණනක මුදලින් කොටසක් ලබාගෙන ඇති බවටත් එම සැකකරු නීති විරෝධි අන්දමින් පරිබාහිර පුද්ගලයින් විදේශගත කර ඇති බවට මෙන් ම ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ අලුත්වැඩියා කිරීමට වෙන් කළ මුදල් ද ලබාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පෙන්වා දෙමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා ය. ජාලිය වික්‍රමසූරිය මහතාට විදේශගත වීමට අවසර ලබාදීමේදි ඇපයක් ලෙස ඉදිරිපත් කළ දේපොළ රාජ්‍ය සන්තක කරනා ලෙස විමර්ශන නිලධාරීන් එහිදී කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 27 වන දා නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබේ.