රාජ්‍යසේවා කම්කරු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක

රාජ්‍ය සේවා කම්කරු නිලධාරීහු නඩු කටයුතුවලින් ඉවත්වෙති

by Staff writer 31-07-2018 | 8:43 AM
COLOMBO (News 1st) කම්කරු විනිශ්චය සභාවල සියලු නඩු කටයුතුවලින් ඉවත්වීමට රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සභාපති ඉරේශ් චින්තක ගමගේ මහතා සඳහන් කළේ, අල්ලස් කොමිසම විසින් තම නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම පියවර ගත් බවයි. මේ අතර අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය හා කල්මුණේ කම්කරු කොමසාරිස් කාර්යයාලවල නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබී ය. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, නුවරඑළිය කම්කරු අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා පැමිණීම වෙනුවෙන් මොවුන් දෙදෙනා නානුඔය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි. නුවරඑළිය කම්කරු කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා රුපියල් 1000 ක අල්ලසක් හා කල්මුණේ කම්කරු කොමසාරිස් කාර්යයාලයේ නිලධාරියා රුපියල් 8000 ක අල්ලසක් ලබාගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය.