රුපියල් 20,000ක අල්ලස් දුන් චීන ජාතිකයා අත්අඩංගුවට

රුපියල් 20,000 ක අල්ලසක් දුන් චීන ජාතිකයෙකු හම්බන්තොටදී අත්අඩංගුවට

by Staff writer 30-07-2018 | 7:32 PM

COLOMBO (News 1st) - අල්ලසක් දීමට තැත් කළ බවට සැක පිට චීන ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ මහවැලි අධිකාරියේ අඟුණකොළපැලැස්ස කොට්ඨාස කාර්යාලයේ නිලධාරීයකු කළ පැමිණිල්ලකට අනුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයට කලුගල් සපයනු ලබන චයිනා ස්ටේට් ගල්වල ව්‍යාපෘතියේ බී කොටස සඳහා වෙඩි බෙහෙත් බලපත්‍රය දීර්ඝ කර ගැනීමට අඟුණකොළපැලැස්ස මහවැලි කොට්ඨාස කාර්යාලට පැමිණ තිබු බවයි. එහිදී ඔහු අදාළ රාජකාරිය කර ගැනීම සඳහා මහවැලි කාර්යාලයේ කළමනාකරුට රුපියල් 20,000 ක අල්ලසක් දීමට උත්සාහ කළ බවට අඟුණකොළපැලස්ස පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර හෙට දිනයේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මේ අතර අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි ලුවි ට එරෙහිව අද නඩු පවරනු ලැබුණි. සිය තනතුර භාවිතා කරමින් අයුතු ලෙස මුදල් හා දේපොළ අත්පත් කර ගැනීම හා වෙනත් පුද්ගලයින්ට ලාභ ප්‍රයෝජන අත්පත්කර ගැනීම සඳහා ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.