ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Sagarika Chathumali 30-07-2018 | 6:35 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්...

1. ගම සංවර්ධනයට කමිටුවක් : ග්‍රාමීය සංවර්ධනයට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසී ය. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තු ආරෙන්පරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 2.බුලත්සිංහල කොල්ලයේ තතු රැසක් හෙළිවෙයි : බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටියකට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරා සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ඊයේ මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි. 3. උ/පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කෙරේ : අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කිරීමට තීරණය කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, දිවයින පුරා හඳුනාගත් මධ්‍යස්ථාන ආශ්‍රීතව මෙම සංඥා අවහිර කිරීමට නියමිත බවයි. 4. ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් සමාජිකයෙක් : ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව එයාර් බස් ඒ ත්‍රී ටුවෙන්ටි වන් නියෝ වර්ගයේ ගුවන් යානයක් එක් කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය රජය සමයේ කළ ඇනවුමක් අනුව යානය අද මෙරටට ළඟා වූ බවයි. පසුගිය රජය විසින් එයාර් බස් නියෝ යානා 6 ක් ඇනවුම් කර තිබු අතර එම ඇනවුම අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලැබුණු අවසන් යානය මෙය බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ ය. 5. ඉංගිරිය පොලිසියේ නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට : නීති විරෝධීව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස්ථානයේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. පොලිසිය සඳහන් කළේ, ඔවුන් පසුගිය දා දිනෙක රාත්‍රි ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු හමුදා සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා ආබාධිත පුද්ගලයෙකි.

විදෙස් පුවත්...

1.ඉම්රාන් ඛාන් 14ට පෙර දිවුරුම් දෙන ලකුණු... : පකිස්ථාන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් ලබන 14 වන දා ට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි, තරීක් ඒ ඉන්සාෆ් පක්ෂය පවසයි. කෙසේවෙතත් පකිස්ථාන මැතිවරණයෙන් ජයගත් තරීක් එ ඉන්සාෆ් පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගැනීමට අවැසි අවම ආසන සංඛ්‍යාව ජයගැනීමට නොහැකි විය.

ක්‍රීඩා පුවත්

1.දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක් : ශ්‍රී ලංකාව පැරදවු දකුණු අප්‍රිකාව පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගත්තේ ය. ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ජය වාර්තා කළේ පන්දුවාර 31 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීයි.