ගුවන්තොටුපොළවල් ආශ්‍රිත සරුංගල් යවන්න එපා!

ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස්

by Staff writer 30-07-2018 | 6:11 PM

COLOMBO (News 1st) - ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම්දී තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, ගුවන්තොටුපොළවල් ආසන්නයේ කිලෝමීටර 5 ක සීමාවේ සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. සරුංගල් හා ඒවා යැවීමට උපයෝගි කර ගන්නා නුල් ආදිය පැටලීම හේතුවෙන් ගුවන් යානා පියාසර කිරීමට උපයෝගි කර ගන්නා අවර පෙතිවලට සහ විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් ගුවන් අනතුරු සිදුවීමට ඉඩ ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය. එබැවින් සරුංගල් යැවීමට වැඩි උනන්දුවක් දක්වන මෙම කාලසීමාව තුළ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී නිමල්සිරි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.