කෝටි1000ක ණයක් ගත් බැංකු අධ්‍යක්ෂක ගැන හෙළිදරව්වක්

කෝටි 1000 ක ණයක් තමන් සේවය කරන බැංකුවෙන්ම ගත් බැංකු අධ්‍යක්ෂකවරයෙකු ගැන හෙළිදරව්වක්

by Staff writer 30-07-2018 | 8:38 PM

COLOMBO (News 1st) - රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයෙකු තමන් අධ්‍යක්ෂ ධූරය දරණ සමාගමකට එම බැංකුවෙන් ම රුපියල් කෝටි 1000 ක පමණ ණය මුදලක් ලබාගැනීමේ දූෂිත ගනුදෙනුවක් පුවත්පතක් අනාවරණය කර තිබේ.

දිනපතා දේශය පුවත්පත ඊයේ විශේෂ හෙළිදරව්වක් කරමින් මේ ගනුදෙනුව අනාවරණය කළේ ය. පුවත්පත පැවසූවේ, රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයකු ලබාගෙන ඇති මෙම ණය මුදල බැංකුව පිහිටුවාගත වූ වසර 65 ක කාලය තුළ ලබාදුන් විශාලතම ණය මුදල බවයි. වාර ගණනාවකදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ණය කමිටුවේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම ණය මුදල ලබාදී ඇතැයි දේශය පුවත්පත වාර්තා කළේ ය. දේශය පුවත්පත අදාළ රාජ්‍ය බැංකුවේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා තිබූ අතර ඔහු පවසා තිබුනේ මෙම තොරතුර සත්‍යයක් බවයි. නමුත් විධිමත් ආකාරයට මෙම ණය මුදල ලබාදී ඇතැයි සභාපතිවරයා දේශය පුවත්පතට පවසා තිබේ. පුවත්පත් වාර්තවේ දැක්වූයේ බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු සම්බන්ධ සමාගමකට ණය ලබාදීම ලැදියාවන් අතර නීතිමය ගැටුමක් හට නොගන්නේදැයි කළ විමසීමට සභාපතිවරයා පිළිතුරු දිය නොහැකි බව පැවසූ බවයි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ කරුණු විමසා බැලීමේදී අනාවරණය වූයේ රුපියල් කෝටි 1000 ක මෙම ණය මුදල මහජන බැංකුව විසින් සී එම් එල් වෝකර්ස් නමැති ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට මුදාහැර ඇති බවයි. 2014 වන විටත් බැංකුව එම සමාගමට රුපියල් කෝටි 5000 ක පමණ ණය නිකුත් කර තිබූ බව මහජන බැංකුවේ ණය කමිටුවේ සභාපති ආචාර්ය අමින්ද මෙත්සිල මහතා අප කළ විමසීමේදී පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ, එම ණය මුදල් නිසි අයුරින් අදාළ සමාගම පියවා ඇති බවයි. මේ අනුව රුපියල් කෝටි 5000 ක උපරිමයකට යටත්ව වෝකර්ස් සමාගමට ණය මුදා හැරීමට හැකියාව ඇතැයි ආචාර්ය අමින්ද මෙත්සිල මහතා ප්‍රකාශ කළේ ය. සී.එම්.එල් වෝකර්ස් සමාගමේ 2016 / 2017 වාර්ෂික වාර්තාවට අනුව සමූහයේ විධායක උපසභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජෙහාන් අමරතුංග නමැත්තායි. ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. 2010 සිට ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇත. එවක බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, ගාමිණී සෙනරත් මහතායි. මේ අතර සී.එම්.එල් වෝකර්ස් සමාගම රජයේ මාර්ග, පාලම් ඇතුලු ඉදිකිරීම් ව්‍යපෘති ගණනාවක් සිදු කරන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ කොටසක් ද ඊට ඇතුළත් වේ. තමන් අධ්‍යක්ෂ ධූරයක් දරන රාජ්‍ය බැංකුවෙන් කෝටි 1000 ක පමණ ණය මුදලක් ලබාගෙන තමන්ගේ සමාගමකට ප්‍රතිලාභ අත්කරදීම සාධාරණ ද? නීත්‍යානූකූල ද? රාජ්‍ය බැංකුව සතුව ඇත්තේ රටේ ජනතාවගේ මුදල්. සිදුකළ යුතුව ඇත්තේ ඒවා නිසි පරිදි කලමනාකරණය කරමින් ප්‍රතිලාභ රටේ ජනතාවට අත්කරදීම නොවේ ද? රාජ්‍ය බැංකුවක් ලෙස රුපියල් කෝටි 1000 ක් වැනි මුදලක් ණයක් ලසෙ ලබාදීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම නිසි ක්‍රමවේදයට අනුව සිදුවූවා ද? නිව්ස්ෆස්ට් මේ පිළිබඳව අවධානයෙන්. අප සතුව ඇති තව ත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න..