ඉංගිරිය පොලිස් OICගේ වැඩ තහනම්

ඉංගිරිය පොලිස් OICගේ වැඩ තහනම්

by Staff writer 30-07-2018 | 1:46 PM
පොලිස්පතිවරයා විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරනු ලැබූ බවයි. මීට අමතරව නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස් නිලධාරීන් තිදෙනාගේ ද වැඩ තහනම්කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂක සැරයන් සහ කොස්තාපල්වරයාගේ සේවය අත්හිටවූ බවයි. පෙරේදා රාත්‍රියේ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක සිටි හමුදා සෙබළෙකු සහ ආබාධිත පුද්ගලයෙකු නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම නිළධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන්, පානදුර කොට්ඨාසය භාර පොලිස් අධීකාරිවරයා විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. අදාළ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි උප පොලිස් පරික්ෂකවරයා බීමත්ව සිට ඇති බව ද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.