බුලත්සිංහල කොල්ලයේ තතු රැසක් හෙළිවෙයි

by Staff writer 29-07-2018 | 7:28 PM
බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටියකට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරා සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි. කොල්ලයට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ වෙළඳ ආයතනවල ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති දර්ශන ද උපයෝගී කරගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් ද අනියුක්ත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, කොල්ලකෑම සිදුවන අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා සතුව ගිනි අවිය නොතිබුණු බවයි. කොල්ලය සිදුවන විට මුදල් සහිත සේප්පුව රඳවා තිබූ වෑන් රථයේ පිටුපස දොර ද විවෘත කර තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, මෙම කොල්ලය සැලසුම් සහගතව සිදුකර ඇති බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවයි. නාරාහේන්පිටි ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක නිලධාරින් බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා අදාළ මුදල් රැගෙන යමින් සිටියදී මෙම කොල්ලය සිදුව තිබේ. වෑන් රථය වෙළඳසලක් අසල නවතා එහි පැමිණි පිරිස ආහාර ගනිමින් සිටියදි ජිප් රථයකින් පැමිණ කොල්ලකරුවන් අදාළ මුදල් රැගෙන පලාගොස් තිබුණේ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරමිනි.