ද. අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

ද. අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

by Staff writer 29-07-2018 | 4:30 PM
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාව කඩුලු 5 කින් ජය ගත්තේ ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දුන් සියවන එක්දින ක්‍රිකට් තරගය ද මෙයයි. උපුල් තරංග සමගින් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 36 කදී බිඳ වැටිණ. අනතුරුව කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා හය වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 92 ක සබඳතාවක් ගොඩනැගූහ. තිසර පෙරේරා ලකුණු 49 ට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා සිය එක්දින දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 81 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 193 ක් පමණි. ට්‍රබ්රායිස් ශම්සි සහ කගීසෝ රබාඩා අතර කඩුලු 4 බැගින් බෙදී ගියේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 31 කදී බිඳ වැටිණ. ක්වයිටන් ඩී කොක් ලකුණු 47 ට දැවී ගිය අතර නායක ෆෆ් ඩු ප්ලෙසීස් ද ලකුණු 47 ක් ලබා සිටියදී දැවී ගියේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්, ජේ.පී ධුමිනි ලකුණු 53 ක් රැස් කළේ ය. අකිල ධනංජය පන්දුවාර 10 කදී ලකුණු 50 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ජය වාර්තා කළේ පන්දුවාර 31 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීයි.