ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Chathuranga Rajapaksha 29-07-2018 | 6:52 AM

COLOMBO (News 1st)

දේශීය පුවත් 1. බුලත්සිංහල රුපියල් කෝටියක මංකොල්ලයක්: බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් විසින් රැගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මුදල් රැගෙන යමින් සිටි පිරිසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔවුන් පලාගොස් ඇති බව ය. 2. සුරක්ෂා රක්ෂණයට මුවාවී මහා පරිමාණ මහජන මුදල් කොල්ලයක්: හතලිස් පන් ලක්ෂයක් වන මෙරට පාසල් සිසුන් ආවරණය වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණ ආවරණය හරහා මූල්‍ය වංචාවක් සිදුවන බවට ගුරු සංගම් චෝදනා කරමින් පවසයි. ගුරු සංගම්වලට අනුව අමාත්‍යාංශය රුපියල් මිලියන 27,000 ක් එම රක්ෂණ වැඩසටහන සඳහා වාර්ෂිකව වැය කරන අතර එයින් සියයට 90 ක් ප්‍රතිරක්ෂණය වෙනුවෙන් ඉන්දීය ප්‍රතිරක්ෂණ සමාගමකට ගෙවා තිබේ. 3. ලක්දනවි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදු වූ බව කියන සැක සහිත ගනුදෙනු රැසක් තව දුරට ත් හෙළිවෙයි: කෙරවලපිටියේ, ලක්දනවි විදුලි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදුවුණු බව කියන සැක සහිත ගනුදෙනු රැසක් පිළිබඳව අප පසුගියදා තොරතුරු අනාවරණය කළේය. ලක්දනවි සමාගමේ හිමිකාරත්වය දරන වෙනත් සමාගම් සහ පාර්ශව පිළිබඳව ඇති සංකුලතා නිසා එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බව අප පසුගියදා පල කළ පුවතට පදනම් වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවේ දැක්වේ. 4. නකල්ස් රක්ෂිතයේ පුද්ගලික ව්‍යාපාර ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ – කබීර් හෂීම්: මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබ්ර් හෂිම් මහතා ඊයේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව නකල්ස් රක්ෂිතය පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව මාධ්‍යයට අදහස් දැක්විය. එහිදී ඔහු සඳහන් කළේ, නකල්ස් රක්ෂිතයේ පුද්ගලික ව්‍යාපාර ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බව ය. 5. කටුනායක ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව දැඩි කෙරේ: කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දීමේ සිද්ධියය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 1. ‘ජොන්දාරී’ නිසා ජපානයේ ගුවන් ගමන් 377 ක් අවලංගු වෙයි: ජොන්දාරී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 377ක් අවලංගු කර ඇතැයි ජපන් බලධාරීන් පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සුළි කුණාටුව හේතුවෙන් බටහිර ජපානයට ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් උද්ගතව ඇති බව ය. 2. පකිස්ථාන මහ මැතිවරණය යළි පවත්වන්නැයි ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීම්: මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් පවත්වන ලෙස පකිස්ථානයේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉල්ලා සිටී. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, පසුගිය බදාදා පැවති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් බලයට පත් වීමට නියමිතව තිබියදී ප්‍රතිවාදී දේශපාලන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව ය. ක්‍රීඩා පුවත් 1. ජෙරොම් වැල්කිගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉවත දමයි: අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් ජෙරොම් වැල්කි තමන්ට එරෙහිව පනවා ඇති දස වසරක තහනමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේ. 2. විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ – ඇන්ජලෝ මැතිව්ස්: විනයක් නොමැති කිසිඳු ක්‍රීඩකයෙකුට සමාව දිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.