ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය

ඉන්දීය ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය

by Staff writer 29-07-2018 | 4:44 PM

COLOMBO (News 1st) - මෙරට අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මීට වසර ගණනාවකට පෙර අත්අඩංගුවට ගත් යාත්‍රා එලෙස නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම යාත්‍රා සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව මගින් ලබා දෙන වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර අනවසර ධීවර කටයුතුවල නිරත වූ මෙරට ධීවර යාත්‍රාවක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පවතින බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ, එම ධීවර යාත්‍රාව නිදහස් කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමු ඇති බව දන්වා ඇති බවයි. කෙසේ වෙතත් මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතු සිදු කරන විදේශීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක නව නීතිය සමග මුහුදු සීමා උල්ලංඝණය කරමින්, ඉන්දීය ධීවරයින් මෙරටට පැමිණීමේ සැලකිය යුතු අඩුවක් පවතින බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම නීතිය පසුගිය පෙබරවාරි මස 9 වන දා සිට ක්‍රියාත්මකයි. නව නීතිය ක්‍රියාත්මකවීමෙන් පසු ඉන්දීය ධීවර යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගත් බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මෙරට අත්අඩංගුවේ ඇති එම යාත්‍රා ද අගෝස්තු මස 30 වන දා යළි හිමිකරුවන් වෙත ලබාදීමට නියමිත ය. නව නීතිය යටතේ, මුහුදු සීමා උල්ලංඝණය කරන ධීවර යාත්‍රා මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 75 ක් දක්වා දඩ පැනවිය හැකි අතර යාත්‍රාවේ දිග අනුව දඩ මුදල් වෙනස් වන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.