ඉන්දීය ධීවර යාත්‍රා 173ක් නිදහස් කිරීමට අවධානය

ඉන්දීය ධීවර යාත්‍රා 173ක් නිදහස් කිරීමට අවධානය

by Staff writer 29-07-2018 | 3:31 PM
මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවර යාත්‍රා 173ක් නිදහස් කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මීට වසර ගණනාවකට පෙර අත්අඩංගුවට ගත් යාත්‍රා එලෙස නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම යාත්‍රා සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව මඟින් ලබා දෙන වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර අනවසර ධීවර කටයුතුවල නිරත වූ මෙරට ධීවර යාත්‍රාවක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පවතින බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය පැවසුවේ, එම ධීවර යාත්‍රාව නිදහස් කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවදානය යොමු ඇති බව දන්වා ඇති බවයි. කෙසේ වෙතත් මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු සිදුකරන විදේශීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක නව නිතිය සමඟ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ඉන්දීය ධීවරයින් මෙරටට පැමිනීමේ සැලකිය යුතු අඩුවක් පවතින බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම නිතිය පසුගිය පෙබරවාරි මස 9 වනදා සිට ක්‍රියාත්මකයි. නව නිතිය ක්‍රියාත්මක වීමෙන් පසු ඉන්දීය ධීවර යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගත් බව, අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මෙරට අත්අඩංගුවේ ඇති එම යාත්‍රා ද අගෝස්තු මස 30 වනදා යළි හිමිකරුවන් වෙත ලබා දීමට නියමිතයි. නව නීතිය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවර යාත්‍රා මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 75 ක් දක්වා දඩ පැනවිය හැකි අතර යාත්‍රාවේ දිග අනුව දඩ මුදල් වෙනස් වන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.