සුරක්ෂා රක්ෂණයට මුවාවී මහජන මුදල් කොල්ලයක්

සුරක්ෂා රක්ෂණයට මුවාවී මහා පරිමාණ මහජන මුදල් කොල්ලයක්

by Chathuranga Rajapaksha 28-07-2018 | 9:41 PM

COLOMBO (News 1st) - හතලිස් පන් ලක්ෂයක් වන මෙරට පාසල් සිසුන් ආවරණය වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණ ආවරණය හරහා මූල්‍ය වංචාවක් සිදුවන බවට ගුරු සංගම් චෝදනා කරමින් පවසයි.

ගුරු සංගම්වලට අනුව අමාත්‍යාංශය රුපියල් මිලියන 27,000 ක් එම රක්ෂණ වැඩසටහන සඳහා වාර්ෂිකව වැය කරන අතර එයින් සියයට 90 ක් ප්‍රතිරක්ෂණය වෙනුවෙන් ඉන්දීය ප්‍රතිරක්ෂණ සමාගමකට ගෙවා තිබේ. ඒ, ප්‍රතිරක්ෂණය කළයුතු තරමේ අවදානමක් නොතිබියදී බව එම සංගම්වල චෝදනාවයි. රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ගෙවුණු මාස 6 තුළදී වන්දි ලෙස ගෙවා ඇත්තේ රුපියල් මිලියන 52 ක් පමණි. වසර අවසානය වනවිට එම වන්දි ප්‍රමාණය මිලියන 130 ක් පමණ වනු ඇති බවට අනුමාන කෙරේ. ගුරු සංගම් පෙන්වා දෙන්නේ එම උපකල්පන අනුව සුරක්ෂා රක්ෂණය, ප්‍රතිරක්ෂණය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ය. රාජ්‍ය සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණය වෙනුවෙන් රජය ශ්‍රී ලංකා රක්ෂණ භාර අරමුදල වෙත රුපියල් බිලියන 12 ක පමණ මුදලක් වාර්ෂිකව ගෙවුව ද එය ප්‍රතිරක්ෂණය කර නොමැත. එවැනි තත්ත්වයක් තුළ සුරක්ෂා රක්ෂණයෙන් සිදුවන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළයුතු මුදල් විදේශිය ප්‍රති රක්ෂණ සමාගමක් වෙත ගෙවීම බව ගුරු සංගම් චෝදනා කරමින් පවසයි.