ලක්දනවි හිමිකාරත්වය දරන සමාගම ගැන හෙළිදරව්වක්

ලක්දනවි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදු වූ බව කියන සැක සහිත ගනුදෙනු රැසක් තව දුරට ත් හෙළිවෙයි

by Staff writer 28-07-2018 | 9:26 PM

COLOMBO (News 1st) - කෙරවලපිටියේ, ලක්දනවි විදුලි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදුවුණු බව කියන සැක සහිත ගනුදෙනු රැසක් පිළිබඳව අප ඊයේ තොරතුරු අනාවරණය කළේය.

මේ ඒ පිළිබඳව තවත් කරුණු අප වෙත වාර්තා වී තිබේ. ලක්දනවී සමාගමේ හිමිකාරත්වය දරන වෙනත් සමාගම් සහ පාර්ශව පිළිබඳව ඇති සංකුලතා නිසා එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවතින බව අප ඊයේ පල කළ පුවතට පදනම් වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අති විශාල අවදානම සඳහා මණ්ඩලය වෙත කිසිඳු ගෙවීමක් සිදු නැති අතර, සියයට 4.8%ක් පමණක් හිමි ලක්දනවි සමාගමට සියයට 39.75%ක ලාභාංශ ගෙවා තිබේ. සංසන්දනාත්මක ලෙස බලන විට පෙනී යන්නේ බිලියන 22.7ක අති විශාල ණය කන්දරාවක වගකීම භාරගත් රජයේ පිහිටෙන් වෙනත් කොටස්කරුවන් ඉතාම සූක්ෂම අන්දමින් බිලියන ගණන් ලාභ ඉපයීමට කටයුතු කර ඇති බව ය. තවද ලක්දනවී ආයතනයෙන් විදුලි මිලදී ගැනීම් ගිවිසුම් සකස් කරන විට විදුලි බල මණ්ඩලය ඉතාම බරපතල සැකයන් ඇතිවන ආකාරයෙන් කටයුතු කර තිබේ. එනම් මණ්ඩලයට ලාභ සහගත කරුණු ඉතාම සැක සහිත ලෙස නොසළකා හරිමින් අදාළ සමාගමට වාසිදායක වන කරුණු සඳහා කිසිඳු පැකිලීමකින් තොරව එකඟ වෙමින් ගිවිසුම්ගත වීමයි. මෙම වාර්තාවේ අවසාන වශයෙන් කියවෙන්නේ සියයට 5ක අයිතිකාරිත්වයක් දරමින්, සියයට 2ක් පමණ ප්‍රාග්ධනය යොදවමින් කටයුතු කළ ලක්දනවී සමාගම අතිවිශාල ලාභයක් ලබද්දී, සියයට 98%ක ප්‍රාග්ධනය යොදවමින් සහ අවදානම දරමින් කටයුතු කල ශ්‍රී ලංකා රජය නොසළකා හැර සදාචාර විරෝධීව කටයුතු කර ඇති බව ය. LTL හෝල්ඩින්ස් සමාගම සහ ඒ යටතේ ක්‍රියාත්මක උප සමාගම්වල ඇති ගැටලු සම්බන්ධයෙන් මීට පෙර ද බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබේ. අටවැනි පාර්ලිමේන්තුවේ පළමු කෝප් කමිටු වාර්තාව හෙළි කරන කරුණු ඒ අතර විශේෂයි. කොප් කමිටුව පවසන පරිදි LTL සමාගමේ සියයට 63ක කොටස් විදුලි බල මණ්ඩලය විසින් දැරුවද මෙම සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයට පවතින්නේ සීමාසහිත වූ මැදිහත්වීමේ බලයකි. එමෙන්ම LTL සහ එහි උප සමාගම් ලාභාංශ වැඩි ප්‍රමාණයක් භුක්තිවිදීම නිසා විදුලි බල මණ්ඩලයට ලැබෙන ලාභාංශයන්හි පහළ යාමක් ඇති විය හැකි බවට ද කෝප් කමිටුව අනතුරු අඟවන්නේ 2016 වසරේදී ය. 2016.03.08 වන දින ගෙවන ලද ලාභාංශ පිළිබඳ වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක්වන අතර එම ගණනය කිරීම්වලට අනුව විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 7184 ක ලාභාංශ ලැබිය යුතුයි. නමුත් විදුලි බල මණ්ඩලයේ ගිණුම් වලට අනුව ලැබී ඇත්තේ රුපියල් මිලියන 6952 ක පමණ ලාභාංශයකි. දූෂණයට විරුද්ධව බලයට පැමිණි රජයක් තුලින් මෙවැනි දෑ බලාපොරොත්තු විය හැකිද? විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල LTL හෝල්ඩින්ග්ස් හි ප්‍රධානීන් ලෙස කටයුතු කරන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ද ඇතුළුව අරුණ කුමාර සමරසිංහ යු ඩී ජයවර්ධන, එම්.ජේ.එම්.එන්. මරික්කාර්, රවින්ද්‍ර කේ. පිටිගලගේ යන මහත්වරු ඇතුළු බලධාරීන් මේ තත්ත්වය සම්බන්ධයෙන් දක්වන්නේ කුමන ප්‍රතිචාරයක්ද? මහජනතාව විමසිල්ලෙන්...