හක්මන ඩිපෝ සේවකයින් සේවයෙන් ඉවත් වෙයි

පහරදීමකට විරෝධය පල කරමින් හක්මන ඩිපෝ සේවකයින් සේවයෙන් ඉවත් වෙයි

by Staff writer 28-07-2018 | 5:10 PM

COLOMBO (News 1st) - සැකකරුවෙකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් හක්මන ඩිපෝවේ සියලු සේවකයින් අද දහවල් සිට සේවයෙන් ඉවත්ව තිබේ.

එහි කළමනාකරු සුජිත් ගමගේ මහතා සඳහන් කළේ, පෙරේදා රාත්‍රි කරාපිටිය සිට පනාකඩුව දක්වා දිවෙන බස් රථයේ රියැදුරුට සහ රිය සහායකට කිසියම් පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඇති බව ය. ඉන් තුවාල ලැබූ රිය සහායක මේ වනවිට මාතර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර රියැදුරු මාවරල රෝහලෙන් ප්‍රතිකාර ලබා අද පිටව ගිය බව ඔහු සඳහන් කළේය. ගමගේ මහතා පැවසුවේ මෙම පහරදීම සිදුකර දින දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් මාවරල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් සියලුම සේවකයින් අද දහවල් සිට සේවයෙන් ඉවත්ව ඇති බව ය. මේ හේතුවෙන් හක්මන ප්‍රදේශයේ මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මාවලර පොලීසියෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ය.