පකිස්ථාන මහ මැතිවරණය යළි පවත්වන්නැයි ඉල්ලීම්

පකිස්ථාන මහ මැතිවරණය යළි පවත්වන්නැයි ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීම්

by Staff writer 28-07-2018 | 7:37 AM
(News 1st) - මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් පවත්වන ලෙස පකිස්ථානයේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉල්ලා සිටියි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, පසුගිය බදාදා පැවති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් බලයට පත් වීමට නියමිතව තිබියදී ප්‍රතිවාදී දේශපාලන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව ය. ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි. පක්ෂය ඡන්ද විමසීමට පෙර සිටම සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ ද මැතිවරණ වංචා සිදු වූ බවට ප්‍රතිවාදී පක්ෂ චෝදනා කළේ ය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන අතරතුර ඉස්ලාමාබාද් නුවරදී පැවති එකාබද්ධ සාකච්ඡාවකින් පසු දේශපාලන පක්ෂ නායකයෙකු කියා සිටියේ, නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටිමින් විරෝධතා දියත් කරන බව ය. පකිස්ථානයේ මීට පෙර බලය හෙබවූ පී.එම්.එල්.එන්. පක්ෂය ඇතුළු ප්‍රතිවාදී දේශපාලන පක්ෂ මීට පෙර කියා සිටියේ, විපක්ෂයේ අසුන් ගැනීමට තමන් සූදානම් බව ය. තම පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව පී.එම්. එල්.එන්. පක්ෂ නායක දූෂණ චෝදනාවන්ට වරදකරු වී සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරු ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය හැර ප්‍රතිවාදී පක්ෂවලින් සැදුම්ලත් කණ්ඩායමේ ප්‍රකාශක එම්.එම්.ඒ. පක්ෂ නායක ෆසාලූර් රෙහමන් කියා සිටියේ, නැවතත් පකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීම සඳහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ය. කෙසේ වෙතත් පකිස්ථාන මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත. මේ වන විට නිකුත්ව ඇති ආසන 263ක නිල ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි. පක්ෂය ආසන 115ක බලය හිමි කර ගනිමින් ඉදිරියෙන් සිටියි.