ජෙරොම් වැල්කිගේ අභියාචනය ඉවතට

ජෙරොම් වැල්කිගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉවත දමයි

by Staff writer 28-07-2018 | 9:18 AM
(News 1st) - අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් ජෙරොම් වැල්කි තමන්ට එරෙහිව පනවා ඇති දස වසරක තහනමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේ. 57 හැවිරිදි වැල්කිට 2015 වසරේදී මෙම තහනම පැන වූයේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලන ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් සහ හිටපු ලේකම් ජෙරොම් වැල්කිට එරෙහිව එල්ල වූ චෝදනා අතරට ලෝක කුසලාන තරගාවලි ප්‍රවේශපත්‍ර ලබා දීමේදී සිදු වූ අක්‍රමිකතා, තරග සඳහා රූපවාහිනී විකාශන අවස්ථා ලබා දීමේදී සිදු වූ අක්‍රමිකතා ද ඇතුළත් වේ. සෙප් බ්ලැටර්ට පැන වූ වසර 8ක තරග තහනම පසුව වසර 6 දක්වා අඩු කෙරිණි. අනතුරුව ඔහු එම වසර 6ක තහනමට එරෙහිව යොමු කළ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ප්‍රතික්ෂේප කළේ 2016 වසරේදී ය. ජෙරොම් වැල්කිට එරෙහිව වසර 12ක පාපන්දු තහනමක් සහ ස්ටර්ලින් පවුම් 76000ක දඩ මුදලක් නියම කළ අතර පසුව එම තහනම වසර 10ක් දක්වා අඩු කෙරිණි. ඒ අනුව වැල්කිට වසර 10ක කාලයක් පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ කිසිදු කරුණකට දායක වීම තහනම් වූ අතර ඔහු එම තහනමට එරෙහිව අභියාචනයක් යොමු කළේ ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට ය. එම අභියාචනය ද ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවට නවතම විදෙස් වාර්තා පවසයි.