හලාවත - කොළඹ බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

හලාවත - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 27-07-2018 | 12:26 PM
COLOMBO (News 1st) - බස් රථ රියැදුරෙකුට පහර දීමට විරෝධය පළ කරමින් හලාවත - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. සීමා සහිත හලාවත මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හංස මහතා සඳහන් කළේ, එම රියැදුරාට ඊයේ රාත්‍රී 11.00ට පමණ කොළඹදී දුර ගමන් සේවා බස් රථ සේවකයින් පිරිසක් පහර දී ඇති බව ය. පහර දීමෙන් තුවාල ලැබූ රියැදුරු හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. කෙටි දුර බස් රථ සේවකයින් හා දුර ගමන් සේවා බස් රථ සේවකයින් අතර මෙවැනි ගැටුම් නිරන්තරයෙන් සිදුවේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් නියාමනයක් සිදු නොවීමෙන් එවැනි තත්ත්වයක් ඇති වන බවට චමින්ද හංස මහතා චෝදනා කරයි. ඒ පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, තමා මෙම පහර දීම පිළිබඳව දැනුවත් නොමැති බව ය. දුර ගමන් සේවා බස්රථවලට ද මගීන් ගැනීමට එම මාර්ගයේ බස් නැවතුම් ස්ථාන හඳුන්වා දී ඇතැයි ද ඔහු පැවසුවේ ය.