වැලිකඩ තෝරා ගත් රැඳවියන් 6ක් විශේෂ ස්ථානයක රඳවයි

වැලිකඩ තෝරා ගත් රැඳවියන් 6 දෙනෙකු විශේෂ ස්ථානයක රඳවයි

by Staff writer 27-07-2018 | 6:41 AM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් 6 දෙනෙකු පමණ වෙනම රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින එම සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බව ය. ඔවුන් රඳවා ඇති ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසර ලත් විශේෂ නිලධාරීන් පිරිසකට පමණක් බව ද ඔහු සඳහන් කළේ ය. ඇතැම් රැඳවියන් නවීන තාක්ෂණික උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශයෙන් විමර්ශන ක්‍රියාත්මක ය. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය ඊයේ පස්වරුවේ විසුරුවා හැරිණි. ඒ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ය. පසුගිය කාලයේ වාර්තා වූ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.