මහා විනාශයකට අත වනන මහනුවර, ගොහාගොඩ කුණු කන්ද

මහා විනාශයකට අත වනන මහනුවර, ගොහාගොඩ කුණු කන්ද

by Staff writer 27-07-2018 | 10:05 PM

COLOMBO (News 1st) - මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහවැලි ග‍ඟේ මායිමේ පිහිටි මහනුවර, ගොහාගොඩ කුණූ කන්ද පිළිබද අප අවස්ථා කිහිපයකදී අනාවරණය කළේය.

නමුත් බලධාරීන් තවමත් මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම හේතුවෙන් මීතොටමුල්ල ඛේදවාචකයට වඩා දරුණු තත්ත්වයක් ඉදිරියේදී ඇතිවීමට ඉඩ ඇතැයි පරිසරවේදීන් අනතුරු අඟවයි. මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව අවස්ථා ගණනාවකදීම අප ගොහාගොඩ කුණු කන්ද පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කළේය. එහෙත් මේ කුණු විධිමත් අයුරින් කළමනාකරණය කරනවා වෙනුවට සිදුවෙමින් ඇත්තේ දිනෙන් දින කුණු කන්ද ගොඩ ගැසීමයි. විශාල පිරිසකට පිරිසිදු ජල පහසුකම් ලබාදෙන මහවැලි ගඟ සමීපයේ ගොඩ ගැසෙන මේ කන්ද මතුකර ඇති පාරිසරික ප්‍රශ්න සුලු පටු නොවේ. කසළ කන්දේ සිට මහවැලි ගඟට ඇත්තේ මීටර් 50ට කටත් වඩා අඩු දුරකි. දශක තුනක පමණ කාලයක සිට ගොඩ ගැසෙන කුණු මේ වනවිට මීටර් 200ක් පමණ උසට ගොඩගැසී පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් පවතී. මහනුවර නගර සභාව කුණු දැමීම සඳහා පමණක් නොව අද වනවිට ගලි මගින් රැගෙන එන මළ අපද්‍රව්‍ය බැහැර කිරීමට ද මෙම ස්ථානය යොදා ගන්නා බවට සාක්ෂි අපගේ කැමරාවේ සටහන් විය. ගම්වාසීන්
මහනුවර මහ නගර සභාවෙන් ගේන හැම ජහජරාවක්ම මේ ඉඩම්වලට දාන්න තමයි මේ අයගේ පරමාර්ථය තිබුණේ. දැන් ඒක ඉෂ්ට වෙලා මේ මහවැලි ගඟක් විනාශයෙන් විනාශයට යනවා. අපිටත් යන එනමං නැතුව හිටපු පවුල් ඔක්කොම අනාථ වෙලා. රජයේ හිටපු හැම එකෙකුටම කිව්වා ඔවුන් එකෙක්වත් සත පහකට ගණන් ගත්තේ නෑ.
කුණු කන්දේ බලපෑමෙන් ජල මූලාශ්‍ර පවා සිඳීයෑමට පටන්ගෙන තිබෙන අතර මීට පෙර කන්ද නායයාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පවුල් 21ක් ඉවත් කිරීමටද මහනුවර නගර සභාව පියවර ගත්තේය. ‍ දිනෙන් දින ගොඩගැසෙන කුණු අවම කිරීම සඳහා ඒ අශ්‍රිතව කාබනික අපද්‍රව්‍ය ඒකකයක් ඉදිකර තිබුණ ද එයද මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතී. මධ්‍යම පළාත් පරිසර එකමුතුවේ කැඳවුම්කරු අමිත් සේනානායක මහතා
මහවැලි නදිය සම්බන්ධයෙන් තිබෙන සියලු අණපනත්වල පැහැදිලිව තියෙනවා අපද්‍රව්‍ය ගගට බැහැර කිරීම සම්පුර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්ය කියලා. මහනුවර මහනගරසභාව මේ වන විට ඒ නීතිවිරෝධී ක්‍රියාව අඛන්ඩව සිදුකරමින් තියෙනවා. ගඟේ ජලය පොල්ගොල්ලෙන් රජරට ප්‍රදේශ හරවා යවනවා මේ දුෂිත ජලයයි ඒ හරවා යැවෙන්නේ නිසා අපි දකිනවා මීතොටමුල්ලට වඩා විශාල වපසරියක ජනතාව පීඩාවට පත්වෙන බව
මහනුවර නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක මහතා
මේ ප්‍රශ්නයයෙන් අපිට පැනලා යන්න බෑ. හැමදාම දිගටම කුණු බැහැර කිරීම වෙනවා.ජනතාවටත් වගකීමක් තියෙනවා.මීට වඩා වගකීම මහනුවර මහනගර සභාවට තියෙනවා. මේ ගැන අවශ්‍ය උපදෙස් අරගෙන කටයුතු කිරමට මධ්‍යම රජයේත් සම්බන්ධකරගෙන සමහර විට ඔවුන්ගේ ආධාර ගන්න වෙයි මෙවැනි විශාල ගැටළුවකට. ඒ නිසා අපි කඩිනමින් පියවර ගන්නවා මෙවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා