පකිස්ථාන මැතිවරණ‍යේ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි

පකිස්ථාන මැතිවරණ‍යේ සමස්ත නිල ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි: ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

by Staff writer 27-07-2018 | 9:23 AM
(News 1st) - පකිස්ථාන මහ මැතිවරණයෙන් තම තරික් ඒ ඉන්සාෆ් පක්ෂය ජයග්‍රහණය කළ බව ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ප්‍රකාශයට පත් කළ ද මැතිවරණයේ නිල ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත. පකිස්ථාන මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ ආසන 53ක නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය. එමෙන් ම තවත් මන්ත්‍රණ සභා ආසන 03ක ප්‍රතිඵල නිකුත් කිරීම කල් දමා තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, පකිස්ථාන මහ මැතිවරණයේ දැනට ප්‍රකාශයට පත් වූ ප්‍රතිඵල අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණ මාවතේ සිටින බව පෙන්නුම් කළ ද තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය සමස්ත බහුතරය නොලැබෙන තත්ත්වයක් පවතින බව ය. මෙ වන විට තරික් ඒ ඉන්සාෆ් පක්ෂය ආණ්ඩු බලය පිහිටුවීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමග සාකච්ඡා පවත්වමින් ඇතැයි ද වාර්තා වේ. නිල නොවන ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. (PTI) පක්ෂය ඉදිරියෙන් සිටිය ද ඔහුගේ එදිරිවාදීන් පවසන්නේ ඡන්ද වංචා සිදු වූ බව ය. කෙසේ වෙතත් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පී.ටී.අයි. පක්ෂය මැතිවරණ ජය සමරමින් සිටියි.