කොළඹ විදුලි කප්පාදුව අද නොවේ හෙට

කොළඹ විදුලි කප්පාදුව අද නොවේ හෙට

by Staff writer 27-07-2018 | 10:53 AM
COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අද සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව අවලංගු කිරීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, හෙට අදාළ විදුලි කප්පාදුව සිදු වන බව ය. පොහොය දිනය හේතුවෙන් මෙම විදුලි කප්පාදුව අවලංගු වුවත් හෙට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ කොළඹ 03, 04, 05, 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවල කඩින් කඩ විදුලිය විසන්ධි කිරීම් සිදු වේ. කොළඹ 03 ගාලු පාර, පාසල් මාවත, පහළ බගතලේ පාර, බගතලේ පාර ඇතුළු ප්‍රදේශ කොළඹ 04 ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රදේශවල හෙට විදුලිය විසන්ධි වීමට නියමිත ය. කොළඹ 05 ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම් සිදු වන්නේ තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, කැප්පෙටිපොළ මාවත ඇතුළු ප්‍රදේශවලට ය. කොළඹ 07 ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ද විදුලිය විසන්ධි වේ. විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේ, ලබන 31 වන දා දක්වා ද මෙම ප්‍රදේශවල කඩින් කඩ විදුලිය බිඳ වැටීම් සිදු විය හැකි බව ය.