ජනපතිගෙන් ඇතැම් දේශපාලනඥයින්ට දොස්

ජනපතිගෙන් ඇතැම් දේශපාලනඥයින්ට දොස්

by Sagarika Chathumali 26-07-2018 | 7:05 PM
පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාද හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය වසර 50 ක කාලය තුළ මෙරට සිදුවු පරිසර විනාශයේ ප්‍රධාන වගකීම ගෙන තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයින් වන අතර දේශපාලන බලය පදනම් කර ගනිමින් සිදුවූ එම ව්‍යවසනය ජාතියේ අවාසනාවක් බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. මෙරට වන ඝනත්වය 29% ක් පමණ අඩු මට්ටමක පවතින අතර එම ප්‍රමාණයෙන්ද 1.4% ක ප්‍රමාණයක් වාර්ෂිකව විනාශ වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා නිසි වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තිමය තීන්දු ඔස්සේ මෙම අයහපත් තත්ත්වය වැළැක්වීමට කඩිනමින් සියලු දෙනා එක්විය යුතු බවද අවධාරණය කළේ ය. ඉතිහාසයේ පළමු වතාවට පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමටද තමන් කටයුතු කළ බව පැවසු ජනධිපතිතුමා ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ලැබෙන සහාය ඇගවීමට ලක් කෙරිණ. පුරා විද්‍යාත්මක හා ඉහළ ජෛව විවිධත්ව වටිනාකමිකින් යුතු රෝස තිරුවාණා කදුවැටිය සහිත නා උයන මධ්‍යම සංස්කෘති අරමුදල වෙත පවරාදීමට එහි භාරකාර පුජ්‍ය වනවාසී රාහුල හිමියන් පියවර ගෙන තිබේ. වසර 25 ක් නාමල් උයන ආරක්ෂා කරමින් මේ දක්වා රැකබලාගත් පුජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමාගේ දැඩි ප්‍රසාදයට ලක් කෙරිණ. ජපන් ජාතිකයෙකුගේ ආධාර මත නාමල් උයන පරිශ්‍රයේ ඉදිකෙරුණු ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.