චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ඇරඹෙයි

අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි

by Staff writer 26-07-2018 | 8:38 AM

ස්පාඤ්ඤයේ, ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සිංගප්පූරුවට පැමිණ තිබේ.

ඒ, අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම සඳහායි. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනු ඇති. තරගාවලිය අරඹමින් ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම හා එංගලන්තයේ ආර්සනල් ක්‍රීඩා සමාජය අද තරග බිමට පිවිසීමට නියමිත වේ. ප්‍රබල ආර්සනල් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ඊයේ දිනයේදී සිංගප්පූරුවට පැමිණියේ ය. ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ කළමනාකරු ඩියෙගෝ සිමෝනේ හා කෙවින් ගැමෙරියෝ, රොඩ්‍රිගු ඇතුළු ක්‍රීඩකයින් මෙලෙස සිංගප්පූරුව බලා පැමිණ ඇත. සිංගප්පූරුව ඇතුළු රටවල් 9 ක මෙවර තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් ගණන 18 කි. ක්‍රීඩාංගණ 23 ක මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ඇමෙරිකාවේ ක්‍රීඩාංගණ 15 ක් යුරෝපයේ ක්‍රීඩාංගණ 7 ක් හා සිංගප්පූරුවේ එක් ක්‍රීඩාංගණයක් ඊට ඇතුළත් වේ. 2013 වසරේ ඇරඹී මෙම තරගාවලියේ මේ වන විට සාර්ථකම කණ්ඩායම වන්නේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමයි. ඔවුන් තෙවරක් ශූරතා කුසලානය දිනාගෙන තිබේ. පසුගිය වසරේ අමෙරිකානු අදියරේ ශූරතාව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම දිනාගත් අතර සිංගප්පූරු අදියරේ ශූරතාව ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායම දිනා ගත්තේ ය.