ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

by Staff writer 26-07-2018 | 6:48 AM
1. ගුරු – විදුහල්පති වර්ජනය අහෝසියි: ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, ඊයේ දහවල් ජනාධිපතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. 2. HND සිසුන්ට කොළඹදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර: අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. ඔවුන් එම විරෝධතාව ආරම්භ කළේ, මහාපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර දෙන ලෙස ඉල්ලා සහ සහ ආචාර්ය හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. 3. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක: රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය තලවතුගොඩ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපිට ඊයේ දිනයේ සත්‍යග්‍රහයක නිරත විය. ඒ, සම්මුඛ පරීක්ෂණ පවත්වා ළමාරක්ෂක අධිකාරියේ ළමා සංවර්ධන නිලධාරීන් ලෙස තෝරාගත් උපාධිධාරීන් පිරිසකට මෙතෙක් පත්වීම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. 4. සරසවි කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට සැලසුම්: මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කරන බවයි.

විදෙස් පුවත්

5. අඟහරු ග්‍රහයාගේ ජල විලක් සොයා ගනී: අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලය ආශ්‍රිතව ජලය සහිත විලක් සොයාගත් බව ඉතාලි අභ්‍යාවකාශ නියෝජිත ආයතනය පවසයි. ඉතාලි විද්‍යාඥයින් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අභ්‍යකාශගත කර ඇති අඟහරු ගවේෂණ යානයේ රේඩාර් දත්ත උපයෝගී කර ගනිමිනි.

ක්‍රීඩා පුවත්

6. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි: 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6 කි.