අයිරිෂ් යුවළගේ මධුසමය ග්‍රීසි ලැව්ගින්නෙන් දැවීයයි

අයිරිෂ් යුවළගේ මධුසමය ග්‍රීසි ලැව්ගින්නෙන් දැවීයයි

by Sagarika Chathumali 26-07-2018 | 5:30 PM
මෑතකදී විවාපත් අයර්ලන්ත ජාතික යුවළක් මධුසමය ගත කිරීම සඳහා ග්‍රීසියට ගොස් සිටියදී ලැව්ගින්නට හසුවීමෙන් සැමියා ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ. පසුගියදා ග්‍රීසියේ ඇතෑන්ස් අවට ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නට හසුවීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,  බ්‍රයන් වෙස්ට්‍රොප් නමැති අයර්ලන්ත ජාතිකයා ය. කෙසේ වෙතත් ගින්නට හසුවීමෙන් බ්‍රයන්ගේ බිරිඳ හොලොහන්ට ද දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර ඇය මේ වනවිට එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. බ්‍රයන් කේටරින් ආයතනයක ‍සේවකයෙකු වන අතර ඊට අමතරව ඔහු ස්වේච්ඡා සේවයේ ද යෙදී සිටි පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හසුවන අවස්ථාවේ යුවළ වාහනයකින් ගමන් කරමින් සිට ඇති අතර ගිනි ජාලාවලට හසුවූ හොලෝහන් ජීවිතය බේරා ගෙන ඇත්තේ, අසල පිහිටි මුහුදට පැනීමෙනි.   කෙසේ වෙතත් බ්‍රයන්ට සිය ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. මධුසමය ගත කිරීමට ආ බ්‍රයන් - හොලෝහන් යුවළ නවාතැන් ගෙන සිට ඇත්තේ, වෙරළාශ්‍රිතව පිහිටි නිවාඩු නිකේතනයකයි. ග්‍රීසි ලැව් ගින්නෙන් නිවාඩු නිකේතන ඇතුළු ගම්මාන කිහිපයක් විනාශ වී ගිය අතර පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ළමුන් ද ඇතුළුව තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය. ග්‍රීසි අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්‍රස් ලැව් ගින්නෙන් සිදු වූ විනාශයෙන් පසු ග්‍රීසියේ තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් ක‍ළේ ය. මේ අතර ලැව්ගින්න නිවා දැමීමට සහය වන ලෙස ග්‍රීසිය ජාත්‍යන්තරයෙන් සහය පැතූ අතර ඊට ප්‍රතිචාර ලෙස ස්පාඤ්ඤය, සයිප්‍රසය, ඉතාලිය, ජර්මනිය, පෝලන්තය සහ ප්‍රංශය ගිනිනිවීමේ භටයින් සහ හෙළිකොප්ටර් යානා ද පිටත් කර හරිමින් ග්‍රීසියේ ගිනි නිවීමට සහය විය.

පෙර පුවතට මෙතැනින් පිවිසෙන්න...