ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

by Hashini De Mel 25-07-2018 | 6:50 AM
1. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවන්ට දුන් ලක්ෂය දක්වා ණය කපා හැරේ: පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා සහන සැලසීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. එම රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ, කුඩා පරිමාණයේ පුද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාදුන් ණය විශේෂයෙන්ම නියඟයෙන් පීඩා විදිච්ච ජනතාවට ඒ ණය සහන ක්‍රමයකට කපා හරින යෝජනාව සම්මත වූ බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍යංශය පැවසූවේ, නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂූද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි. 2. චීනය සහ ඉන්දියාවෙන් මෙරට සිදු කරන ව්‍යාපෘති: ඩකලපුව කිරාන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද පැවැත් විණි. නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ව්‍යාලේන්ද්‍රන් හා එස්. යෝගේෂ්වරන් ඇතුලු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමේදී ප්‍රදේශයේ ඉඩම් චීන සමාගම්වලට ලබාදීමේ යෝජනාවක් පිළිබඳව අදහස් පළ විය. 3. මහින්ද සහ සම්බන්ධන් චීන ආරක්ෂක දින සැමරුමේදී කතා කළේ මොනවා ද?: චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක දින සැමරුම කොළඹදී පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි. කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති මෙම උත්සවයට සහභාගිවීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා යි. හිටපු ජනාධිපතිවරයා උත්සවය ආරම්භවීමට පෙර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරතව සිටියේ ය. 4. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි: මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. මරණ දඬුවම නියම වී බන්ධනාගාරගත ව සිට තවදුරටත් එම ජාවාරම්වලට මැදිහත් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වී ඇතැයි වාර්තා වනු ඇත.

විදෙස් පුවත්

5. ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් රැසක් මරුට: ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තව ත් සිය ගණනක් අතුරුදන්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස බිඳී ගොස් ඇති බවයි.

ක්‍රීඩා පුවත්

6. චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට: චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 8. දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දකුණු අප්‍රිකාව සමග ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉනිම හතරේදී, දිමුත් කරුණාරත්න ලකුණු 356 ක් රැස් කළ අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් විය.