ගුරු - විදුහල්පති වර්ජනය අහෝසියි

ගුරු - විදුහල්පති වර්ජනය අහෝසියි

by Sagarika Chathumali 25-07-2018 | 6:24 PM
COLOMBO (News 1st) ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, අද දහවල් ජනාධිපතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපන සේවාවන්ට නුසුදුස්සන් පත් කිරීමට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අද පැවති සාකච්ඡාවේදී දේශපාලන පළිගැනීම් පදනම් කර ගනිමින් ලබාදීමට සැලසුම් කර තිබූ පත්වීම් සහ උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි. අදාළ පත්වීම් සඳහා තෝරාගෙන ඇති පුද්ගලයින්ගේ ලිපි ගොනු නැවත විමර්ශනය කිරීමටත් දේශපාලන පළිගැනීම් සිදුවී තිබෙන යන්න නැවත විමර්ශනය කර නිර්දේශ ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත්කර මසක් තුළ නිර්දේශ ලබා ගැනීමටත් මෙහිදී තීරණය කර තිබේ. ජනාධිපතිවරයා පත් කරනු ලබන එම කමිටුවේ නිර්දේශ වැඩිදුර අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර නිර්දේශ ලබාගනු ඇති. පත් කරන ලද නිලධාරී කමිටුවට අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිතිවලට ද අවස්ථාව දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙම ක්‍රියාමාර්ගයන්ගෙන් අනතුරුව දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් ලබාදීමේදී යම් පුද්ගලයකුට අසාධාරණයක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබේ.