සුසෙයිගේ කුඩු ජාවාරමට බන්ධනාගාරෙනු ත් සහය.?

සුසෙයිගේ කුඩු ජාවාරමට වැලිකඩ නිලධාරීන්ගේ ත් සහය.?

by Sagarika Chathumali 24-07-2018 | 12:16 PM
COLOMBO (News 1st) බන්ධනාගාරගතව සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සඳහා 'සුසෙයිට' බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යංශය පවසයි. පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළේ, පසුගිය 7 වනදා කළුබෝවිල සහ සුභූතිපුර ප්‍රදේශවලදී අනාවරණය කරගත් මහා පරිමාණ හෙරෝයින් ජාවාරට සම්බන්ධ මෙහොමඩ් මාහිර් නමැති සුසෙයිගේ ප්‍රධාන ගෝලයකු සන්තකයේ තිබූ දුරකථනය පරීක්ෂා කිරීමේදී එම තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවයි. ධර්මරාසා සුසේන්ද්‍රන් නොහොත් සුසෙයිගේ ප්‍රධාන ගෝලයකු වන මොහොමඩ් මාහීර්ගේ ජංගම දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකුගේ පමණ දුරකථන අංක තිබූ බව තහවුරු වී තිබේ. එම දුරකථන අංක හරහා ඇමතුම් හුවමාරු වී ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර සුසෙයි ළඟ තිබී සොයා ගත් දුරකථනය සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. අදාල බන්ධනාගාර නිලධාරීන් 08 දෙනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා ඇති ඇතර දුරකතන තොරතුරු සම්බන්ධ වාර්තාවක් ද ලබා දී තිබේ. දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ධර්මරාසා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයි, 2013 වසරේ බම්බලපිටිය හෝටලයක් තුළදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ අයෙකි.