CID ය සිතුවම් සොරුන් සොයා විමර්ශන අරඹයි

සිතුවම් සොරුන් ගැන දන්නේ නම්, CIDයට දැනුම් දෙන්න

by Staff writer 24-07-2018 | 7:39 AM
COLOMBO (News 1st) කීර්තිමත් චිත්‍ර ශිල්පී ජෝර්ජ් කිට් මහතා සිතුවම් කළ මදර් ඇන්ඞ් චයිල්ඩ් සහ වසන්ති ලෙස නම් කර තබූ සිතුවම් දෙක සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමකින් යුත් එම සිතුවම් දෙක සොරා ගැනීම සම්බන්ධයෙන් 2013 ජුලි මස 12 වැනිදා පැමිණිල්ලක් ලැබී තිබූ බවයි. කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 ලිපිනයේ මෙම සිතුවම් දෙක තැන්පත් කර තිබී ඇති අතර එම ගොඩනැගිල්ලේ සිදුකළ සංවර්ධන කටයුතු හේතුවෙන් භාණ්ඩ තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට ඉවත් කරමින් සිටියදී මෙම සොරකම සිදුව ඇති බවට ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. කීර්තිමත් චිත්‍ර ශිල්පී ජෝර්ජ් කිට් මහතා මදර් ඇන්ඩ් චයිල් සිතුවම 1953 වසරේ සහ වසන්ති සිතුවම 1950 වසරේ ද සිතුවම් කර තිබේ. සොරාගත් එම සිතුවම් දෙක සහ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශයේ 011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.