ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

by Staff writer 24-07-2018 | 6:54 AM
COLOMBO (News 1st) 1. කළුගඟ ජලාශයට මංගල දියවර මුදා හැරේ : කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ මොරගහකන්ද කළුගඟ උමං මාර්ගයේ දෙවන අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ආරම්භ විය. උත්සවයේ කටයුතු ආරම්භ වූයේ, මොරගහකන්ද ජලාශය සමීපයේ ඉඳි කළ අඩි 27 ක් උස අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව නිරාවරණය කිරීමෙන් අනතුරුවයි. 2. දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ : ගැටලුවලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය. 3. සිරකරුවන් ළඟ ඇති ජංගම දුරකතන හඳුනා ගැනීමට විශේෂ උපකරණයක් : බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. 4. වලපනේ හිටපු සභාපතිට සහ එහි රියැදුරෙකුට වසර 12ක සිර දඬුවම් : වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වලපනේ ආසන සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ එහි රියැදු‌රෙකු ලෙස කටයුතු කළ ජටිලලාල් ප්‍රනාන්දුට නුවරඑළිය මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණ. 5. ඌව මහ ඇමති සමාව ඉල්ලයි : ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ සභාවේ විවාදයක් පැවති අතර ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයකට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කර ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊයේ සිට පළාත් සභාවේ ස්වාධීන කටයුතු කිරීමට තීරණය කර තිබේ. 6.සිංගප්පූරු ආයෝජන ගැන බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය අසත්‍යක් – මලික් සමරවික්‍රම:  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පුරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවාද්‍ය ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම පෙන්වා දුන්නේ ය. 7. බූස්ස බන්ධනාගාරය නිසා උණුසුම් වූ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම : ගාල්ල බූස්ස බන්ධනාගාරය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කර ඇති බව කියන යෝජනාවක් සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 8. වෛද්‍යවරුන් වර්ජනයකට සූදානම් : සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සේවයටත් බාධා ඇතිවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා තිබේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ලබන මස 3 වන දා දීපව්‍යප්ත වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විදෙස් පුවත්

1. පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක : සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු ජනාධිපති නවාස් ෂරීෆ්, වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි, වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. 2. 60 වසරකට පසු මැලේරියා ඖෂධයකට අනුමතිය : වසර 60ට පසු ප්‍රථම වරට මැලේරියා රෝගයට ප්‍රතිකාර ලෙස නිපදවූ නව ඖෂධයක් සඳහා අනුමතිය ලබාදීමට අමෙරිකාවේ බලධාරීන් පිරිසක් පියවර ගනු ලැබීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිරන්තරයෙන් වෙනස් වෙන මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම විශේෂයෙන් අරමුණු කරගනිමින් මෙම නව පෙති විශේෂය නිපදවා ඇති බවයි . 3. කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක් : කැනඩාවේ ටොරොන්ටෝහි සිදු වූ වෙඩි තැබීමකින් තරුණියක මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීමෙන් පසු සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩික්කරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ක්‍රීඩා

1. ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සමාන් වාර්තා අතරට : එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ ෆක්හර් සමාන් වාර්තා අතරට එක් විය. ඔහු මෙම වාර්තාව පිහිටවූයේ ඉනිම 21ක් තුළදීයි. 2. ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට : දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි.