සිංගප්පූරු ආයෝජන ගැන බන්දුල කළ ප්‍රකාශය අසත්‍යක්

සිංගප්පූරු ආයෝජන ගැන බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය අසත්‍යක් - මලික් සමරවික්‍රම

by Staff writer 23-07-2018 | 9:11 PM

COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පුරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවාද්‍ය ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එළඹීම හේතුවෙන් පසුගිය මාස දෙක හමාර ඇතුළතදී අමෙරිකානු ඩොලර් බිලියන 16 කට වැඩි සෘජු ආයෝජන සිංගප්පුරු සාමාගම්වලින් ලැබී ඇති බව පවසා තිබේ. නමුත් කිසිදු අවස්ථාවක අමෙරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජනයක් ලංකාවට ලැබී ඇති බව තමන් ප්‍රකාශ කර නොමැති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෙම යෝජනා අතර සියයට සියයක් අපනයනය අරමුණු කරගත් අමෙරිකානු ඩොලර් බිලියන 14.8 ක ආයෝජනයක් සහිත තෙල් පිරිපහදු සංකීරණයක්, ඩොලර් බිලියනයක ආයෝජනයක් සහිත අපනයන ප්‍රමුඛ කොටගත් වානේ නිපදවන කර්මාන්ත ශාලාවක් සඳහා වූ යෝජනා ඇති බව ද අමාත්‍යවරයා පැහැදිලි කිරීමේ සඳහන් වේ. අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලිකොට ඇත්තේ, ඩොලර් බිලියන 50 හා 200 ක් වූ ආයෝජන සහිත තිරිඟුපිටි හා සීනි පිරිපහදු සංකීර්ණ සඳහා වූ යෝජනා ද ඇති බවයි. මෙම යෝජනා සියල්ලෙහිම එකතුව ඩොලර් බිලියන 16 කට අධික අතර ඊට අවශ්‍ය මුලික අවසරය ආයෝජන මණ්ඩලය විසින් මේ වන විට ලබාදී තිබේ. මේකි ව්‍යාපෘතිවලට අවශ්‍ය ඉඩම් නිදහස් වූ පසු හා නිසි පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යනයකට පසු එම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වන බව පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ඒ අනුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එම ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා කළ එකක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.