ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

by Sagarika Chathumali 23-07-2018 | 8:02 AM
COLOMBO (News 1st) 1. ප්‍රධානීන් මිලියන ගණනින් වරප්‍රසාද ඉල්ලද්දී පල්ලම් බසින ශ්‍රීලංකන් : ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිව ඇත්තේ 95 වන ස්ථානය දක්වා පසුබැස තිබේ. එය 2015 වසරේ සිටි ස්ථාන 22 ක පසුබෑමක් වන අතර ලොව පුරා සිටින ගුවන් මගීන්ගේ කැමැත්ත මත මෙම වර්ගීකරණය සිදුවේ. 2. හිරේ ඉදන් මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද 3000ක් ගැන විමර්ශන : බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතර සිදුවූ දුරකථන සංවාද තුන් දහසකට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඒ අතරට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ද ඇතුළත් බව ද වාර්තා වේ. 3. රැඳවියන්ට සහය දෙන නියාමකවරුන් 6ක් ගැන විමර්ශන: බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පළ කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකතන ඇතුළු නීතිවිරෝධි උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. විදෙස් පුවත් 1. ''අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය කැලෑ නීතිය වගේ'' – ප්‍රංශ මුදල් ඇමති : ජාත්‍යන්තර වෙළෙඳ යුද්ධය යථාර්ථයක් වී ඇති බවට ප්‍රංශය අනතුරු අඟවයි. ප්‍රංශ මුදල් අමාත්‍ය බුරුනෝ ලී මයිරේ මේ බව සඳහන් කළේ, ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල අමාත්‍ය සමුළුවේදී ය. 2. පකිස්ථාන හිටපු අගමැති සල්දාරි ඇතුළු 20කට නඩු : මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා තිබේ. ඒ, පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් සඳහන් කළේ, ඔවුන් අධිකරණය මග හරිමින් සිටින බව ය. ක්‍රීඩා... 1. ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද? : ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා සුනාමියෙන් පසුව ඉදිකරනු ලැබූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කිරීමේ කතිකාව පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාව ද උණුසුම් කළේ ය. ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, පසුගිය 3 වන දා ය. 2. ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි. ව්‍යාපාරික... 1. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති : දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.