කළුගඟ ජලාශයට මංගල දියවර මුදා හැරේ

කළුගඟ ජලාශයට මංගල දියවර මුදා හැරේ

by Staff writer 23-07-2018 | 11:21 AM

COLOMBO (News 1st) : කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ මොරගහකන්ද කළුගඟ උමං මාර්ගයේ දෙවන අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය.

උත්සවයේ කටයුතු ආරම්භ වූයේ, මොරගහකන්ද ජලාශය සමීපයේ ඉඳි කළ අඩි 27 ක් උස අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව නිරාවරණය කිරීමෙන් පසුවයි. මොරගහකන්ද ජලාශය, කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ද අද සිදු විය. ජලාශය මෙසේ නම් කෙරුණේ මෙරටට නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම රැසක් දායාද කළ ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ මහතාට ගෞරවයක් ලෙසිනි. මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ මෙගාවොට් 25ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීම ද අද සිදු වුෙය් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. කළුගඟ ජලාශයේ ජලය පිරවීම ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් කඳුවැටියේ කලූපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල - පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කර තිබේ. වර්ග කිලෝමීටර 14.5 ක් වන ජලාශයේ ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248 කි. මහවැලි සංවර්ධන සැලැස්ම යටතේ ජලාශ 5 ක් ඉදිකිරීමට යෝජනා වූ අතර මොරගහකන්ද එම සැලැස්මේ පස්වන ජලාශයයි. මොරගහකන්ද, කළුගග ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතලේ, ව්වනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය සහ කෘෂි කාර්මික අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය සැපයෙනු ඇති. මේ මගින් අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර 95 දහසකට අධික භූමි ප්‍රමාණයක් කන්න දෙකේම වගා කිරීමට ජලය සැපයෙන අතර පවුල් එක්ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයකට සෘජු වාරි ජලය සැපයෙනු ඇති. මෙම ව්‍යාපෘතියට සමගාමීව මැදිරිගිරිය ප්‍රදේශයේ අක්කර 9000 ක් යල මහ වගාකල හැකි ආකාරයට ජලය සැපයෙන අතර කළුගඟ පහළ නිම්නයේ සහ බිසෝපුර නව කෘෂි කාර්මික ප්‍රදේශයක් ලෙස අක්කර 12500 ක් සංවර්ධනය වනු ඇත. මනම්පිටිය හා සෝමාවතී ප්‍රදේශයේ ගංවතුරින් යටවීම නිසා ජනතාවට සිදුවන පීඩාවන්ට ද මෙම ව්‍යාපෘතිය සමග විසදුම් ලබෙනු ඇති. මොරගහකන්ද කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 96 ක් දිගින් යුතු උමං මාර්ගයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමා අද නිරීක්ෂණය කළේ ය. මෙය සැලකෙන්නේ දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය ලෙසයි. එහි දෙවන කොටසේ ඉදිකිරීම් අද ආරම්භ විය. මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35 බැගින් මොරගහකන්ද ජලාශයට රැගෙන යාමට සැලසුම් කර තිබේ. රුපියල් කෝටි 6700 ක වියදමින් ඉදිවන මෙම උමං ඇළ මාර්ගයේ ඉදිකිරීම් මාස 36 කදී අවසන් කිරීමට අපේක්ෂිතයි.